රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විස්සයි විසි හතර සංවර්ධන වර්ෂයේ ප්‍රමුඛ වගකීම් දැරීමට සූදානම් විය යුතුයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, විස්සයි විසි හතර වර්ෂය තුළ රටපුරා ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් ඉටු කිරීමේ ප්‍රමුඛ වගකීම දැරීමට සූදානම් විය යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ 2024 පළමු ප්‍රගති සමාලෝචන රැස්වීමට 2024.01.03 දින එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"2024 මෙසේ රටපුරා සිදුකිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා දින කීපය තුළ අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. එම සංවර්ධන කටයුතු රටපුරා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ වගකීම රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික්ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීවරුන් සහ සංවර්ධන නිලධාරින් මගින් ගම් මට්ටම දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. ආණ්ඩුකාරවරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් හ පළාත් පාලන ආයතන දක්වාද මෙම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන අතර, එය ජනජීවිතයේ සාධනීය වෙනසක් ඇති කිරීමට ඉවහල් වනු ඇත."

එම සංවර්ධන කටයුතුවල ප්‍රමුඛ වගකීම ඉටුකිරීම සඳහා අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් එක්ව කටයුතු කල යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
පරිපාලන සේවයේ හා පළාත් පාලන සේවයේ දැනට පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සුදුසුකම් සහිත නිලධාරින් පත් කිරීමට සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් බහු කාර්ය සහායකින් විසි පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බවත්, ඉතිරි හාරදහසකට ආසන්න සංඛ්‍යාව, දැනට ඔවුන් අනුයුක්තව සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා අදාළ පළාත් සභාව වෙත ස්ථිර කිරීම සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඊ-ග්‍රාම නිලධාරී වැඩසටහන 2024 වර්ෂයේ ජනතාවට පහසුවක් වන පරිදි ප්‍රතිඵල ළඟාකර ගත හැකි ඉලක්ක ගත වැඩසටහනකට ගමන් කරවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ, රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයමින් කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම සඳහා 2024 වර්ෂයේදී කැපවීමෙන් කටයුතු කිරීම තම අපේක්ෂාව බවත් කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඒ සඳහා එක්ව වැඩ කිරීමට සූදානම් වන ලෙස සියලු නිලධාරීන්ට ආරාධනා කරන බවයි.

අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

1 1

1 1