ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1933/13 හා 2015 සැප්තැම්බර් 21 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය අනුව ස්වදේශ කටයුතු අමත්‍යාංශය ස්ථාපනය කරනු ලැබ ඇත. සිවිල් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වශයෙන් ස‍්‍වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති, දිස්ත්‍රික් පරිපාලනය, ප්‍රාදේශීය පරිපාලනය, ග්‍රාම පරිපාලනය, සිවිල් ලියාපදිංචි කිරීම් සහ සේවක සුබසාධනය ආශ්‍රිත සේවාවන් සඳහා පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය ඉටුකරනු ලැබේ. ඒ අනුව, රජයේ ජාතික ප්‍රමුඛතාවයන් හා සමගාමීව සමාජ හා ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගනිමින් සංවිධානමය කාර්යය සාධනය සුවිශිෂ්ටත්වය උදෙසා වන රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, මානව සම්පත් කළමනාකරණය, ආයතනික සංවර්ධනය, විද්‍යුත් තාක්ෂණික ක්‍රම භාවිතය සහ යහ පාලනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සමග අමාත්‍යාංශය කටයුතු කරයි.

දැක්ම

ජාතියේ උන්නතිය උදෙසා වන සුවිශේෂ සේවාවක් සැපයීම.

මෙහෙවර

නිපුනතාවයෙන් හෙබි මානව සම්පත් උපයෝජනය සහිත ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ ප්‍රශස්ත පරිපාලන ක්‍රමයක් තුළින් විශිෂ්ඨ සේවාවක් තහවුරු කිරීම.

අරමුණු

  • ජනතාවට වඩා සමීපවූ සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් සහිත දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය පරිපාලන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
  • ග්‍රාමීය, ප්‍රාදේශීය හා සමස්ථ ආර්ථික සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා සහභාගීත්ව සහ සාමූහික ප්‍රවේශයක් ස්ථාපිත කිරීම.
  • ඒකාබද්ධ ප්‍රවේශයක් සහ ජනතාවට වඩා සමීප වූ රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම.
  • නවීන තොරතුරු තාක්ෂණික සම්බන්ධතාවය ශක්තිමත් කරමින් දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය පරිපාලනය ශක්තිමත් කිරීම.
  • කාර්යක්ෂම, ඵලදායී හා ගුණාත්මක බව ඇතිවන පරිදි මානව සම්පත අභිප්‍රේරණය කිරීම.

උපාය මාර්ග

  • මහජන වගකීම හා සංතෘප්තිය සහතික වන සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවිධාන ව්‍යුහයන් සරල කිරීම හා නැවත නිර්ණය කිරීම.
  • සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාල එකම වහලක් යටතට ජාලගත කිරීම.
  • සේවාලාභීන්ට හිතැති හා ප්‍රතිචාර දැක්විය හැකි සේ කාර්යාල පද්ධතිය වැඩිදියුණූ කිරීම.
  • සෞඛ්‍යාත්මක ප්‍රවර්ධනාත්මක පරිසරයක් තුළ ආකර්ෂණීය ගෙවීම් පටිපාටියක් ඇතිකරමින් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන් බලගැන්වීම හා අභිප්‍රේරණය කිරීම.

ප්‍රධාන කාර්යන්

  • ස්වදේශ කටයුතු විෂයට, සියළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විෂයන්ට අදාල ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරිම පසු විපරම් කිරිම හා ඇගයීම.
  • රාජ්‍ය උත්සව සංවිධානය කිරිම.
  • දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල පිහිටුවීම.
  • සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පැවරී ඇති සියලුම විෂයන්ට අදාළ කටයුතු කිරිම.
  • සියළුම දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරි කාර්යාල අධීක්ෂණය කිරිම.